ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සඳහා ජනසෙවණින් නිවාස ව්‍යාපෘතියක්

    සැප්තැම්බර් 05, 2014
    විශ්වවිද්‍යාල පරිපාලන, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ජනසෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කෙරිණ. 
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් සමග පසුගියදා නිවාස අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
     
    මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ “ජනසෙවණ ” ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ දිවයින පුරා විවිධ ක්ෂේත්‍රවල ජනකොටස් සඳහා නිවාස වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකරදීම, නිවාස ආධාර ලබාදීම හා අඩු පොලී අනුපාත යටතේ සහනදායී කොන්දේසි මත නිවාස ණය යෝජනා ක්‍රම  ක්‍රියාත්මක කිරීම, වි‍ශේෂිත දක්ෂතා සහිත පුද්ගලයන් හා විශේෂ අවධානය යොමුවිය යුතු පාර්ශව සඳහා නිවාස ලබාදීම, මහල් නිවාස ප්‍රතිසංස්කරණය, මධ්‍යම පාන්තික නිවාස ක්‍රම ආදී වැඩසටහන් රාශියක් ජනසෙවණින් ක්‍රියාත්මක වන බවත් ඒ නිසා විශ්වවිද්‍යාල පරිපාලන, අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා නිවාස යෝජනා ක්‍රමයක්  ක්‍රියාත්මක කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ ඉල්ලීම සාධාරණ බවත් ප්‍රකාශ කළේය.
     
    ඒ අනුව කොළඹ, ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල සඳහා කැලණිය හා කිරුළපන ප්‍රදේශවලින් ද වයඹ විශ්වවිද්‍යාලය කාර්ය මණ්ඩලය සඳහා වයඹ පළාතෙන් ද, රජරට විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සඳහා රජරට පළාතින් ද පළමු අදියර යටතේ නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීමට තීරණය විය. 
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම්වල මෙම නිවාස යෝජනා ක්‍රම ආරම්භ කරන ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි විශ්වවිද්‍යාලවල සැලකිය යුතු පිරිසක් සේවය කිරීමට අකමැතිවීමට ප්‍රධාන හේතුව නිවාස ගැටලුව බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිත පිරිස පෙන්වාදුන් අතර මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඊළඟ අදියර යටතේ යාපනය හා මඩකළපුව ප්‍රදේශවල නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීමට අවධානය යොමුකරන බවයි.
     
    වසර 40කට  වැඩි කාලයක සිට විශ්වවිද්‍යාල ප්‍රජාව සඳහා කිසිදු නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක නොවූ බවත් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සඳහා බලපාන ප්‍රධාන ගැටලුවක් වන නිවාස ගැටලුවට විසඳුමක් ලබාගැනීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයාට මැදිහත් වන ලෙස කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීමට තීරණය කිරීම පිළිබඳව විමල් වීරවංශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ.
     
    මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා. හිරිඹුරේගම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහීම් මෙන්ඩිස්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්  අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ පාලිත ගමගේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන නිලධාරී මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya