ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් නොකළොත් උත්තරීතර පාර්ලිමේන්තුව මුදලාලිලාට යනවා

    සැප්තැම්බර් 05, 2014

    දැන් පවතින මැතිවරණ ක‍්‍රමය ඉතා ඉක්මනින් වෙනස් කරන්න අවශ්‍ය බවත් එසේ නොවුණහොත් මේ උත්තරීතර පාර්ලිමේන්තුව මුදලාලිලාට යන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    පාර්ලිමේන්තුව මුදලාලිලා සතු වුණොත් පාර්ලිමේන්තුව තනිකර ම දූෂිතයන් ගහණ තැනක් බවට පත්වෙන නිසා දේශපාලකයන් වශයෙන් අප සියලු දෙනා එකතු වී අපේ රටට ගැළපෙන, ආසනයට, ජනතාවට වගකියන මන්ත‍්‍රීවරයෙක් ඉන්න මැතිවරණ ක‍්‍රමයක් හදාගත යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා පසුගියදා පානදුර ලංකා සමසමාජ පක්ෂයේ දිස්ත‍්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී  පැවසීය. 


    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "මම ඉතා ම සන්තෝෂ වෙනවා අද කළුතර දිස්ත‍්‍රික්කයේ පානදුර ආසනයේ ලංකා සමසමාජ පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම ගැන. මේ ආසනයට ඇවිල්ලා මේක විවෘත කරද්දී මට මතක් වෙනවා මෙහේ හිටිය කීර්තිමත් ම දේශපාලනඥයන්ව. ඒ ලෙස්ලි ගුණවර්ධන සහෝදරයා. අපි අපේ දේශපාලන අත්පොත කියෙව්වේ මේ වමේ නායකයන්ගෙන්. එදා ඉගෙනගත්ත හයිය තමයි අදත් අපේ ඇඟේ හා මනසේ තියෙන්නේ. අපිට මේ ආත්ම ශක්තිය ලබාදුන්නේ වම. ඒ නිසා වම අපිට නොසැලී ඉදිරියට යන්න තියෙන ආත්ම ශක්තියක්. වමේ පොත කියවලා ආපු කිසි ම කෙනෙකුට අපි අද යන ගමන හැර වෙන කිසි ම ගමනක් ගැන හිතන්න බැහැ. 

    ඔබ දන්නවා මේ වමේ නායකයෝ තරම් දේශපාලනය වෙනුවෙන් කැප කරපු වෙනත් නායකයන් නැහැ. එදා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කර ලංකාවේ විතරක් නෙවෙයි මේ අරගලය ඉන්දියාවට ගෙනිහිල්ලා ඉන්දියාවේ බෝල්ෂෙවික් ලෙනින් පක්‍ෂය හදලා ඒකේ ප‍්‍රධාන සභාපතිවරයා වුණේත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වායි. ඒ වගේම රහසිගතව ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව නොයෙකුත් රහසිගත සංවිධාන ගොඩගනිමින් ඉන්දියානු රාජ්‍ය විරෝධී අරගලයට සම්බන්ධ වෙමින් නැවත මෙහේ ඇවිල්ලා මේ රටේ ඉතා ම කීර්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගපු නායකයෝ තමයි ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ හා පිලිප් ගුණවර්ධන ප‍්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ නායකයෝ. මේ ඔක්කොම නායකයෝ හිටියේ එකට. පසුකලෙක න්‍යායාත්මකව මේ අය වෙන් වුණාට ඒ හැමෝම කරපු කැපවීම්වල අඩුපාඩුවක් වුණේ නැහැ. ඒ නිසා මේ යුගයේ නැවතත් මේ පක්‍ෂවල ශක්තිය උරගා බැලීමේ කාලය ඇවිල්ලා.  

    මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්න  ඕන. මේ මැතිවරණ ක‍්‍රමය තුළ තමයි මේ පාර්ලිමේන්තුව දුෂිත පාර්ලිමේන්තුව බවට පත්කරන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් නොකළොත් මේ පාර්ලිමේන්තුව තනිකර ම මුදලාලිලාට යනවා. මේ පාර්ලිමේන්තුව තනිකරම දුෂිතයන් ගහණ රඟමඩලක් බවට පත්වෙනවා. අද පාර්ලිමේන්තුවේ කිහිපදෙනයි ඉන්නේ දේශපාලනය ගැන කතා කරන්න පුළුවන් අය. ඒ වගේම දේශපාලනය තේරෙන අය ඉන්නෙත් අල්පවයි. අපේ රට නිදහස් කර ගත්තා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. අපි ඔක්කොම එකට කැපවුණා. දැන් මේ රටේ ජනතාවගේ අයිතීන් හා නිදහස ලබාදීමේ අරගලය දිගටම ගෙනයන්න  ඕන. ඒක අපි මහජන නියෝජිතයෝ විදියට ජනතාවට කරන යුතුකමක්. එහෙම නැතුව වෙන දෙයක් නෙවෙයි මේක. ඒ නිසා අපි ජනාධිපතිතුමා එක්ක කථා කරගෙන. අපේ වමේ පක්‍ෂ මේ සංවාදයේ ඉන්නවා. මේ යුතුකම ඉටු කරන්න  ඕන.

    විශේෂයෙන්ම ලංකා සම සමාජ පක්‍ෂයට කීර්තිමත් අනාගතයක් තියෙනවා. මේ සටනේ පෙරටුගාමී බලඇණිය වුණේ ලංකා සම සමාජ පක්‍ෂයයි. නිදහස් අධ්‍යාපනය ලබාදුන්නේ ලංකා සම සමාජ පක්‍ෂයයි. නිදහස් සෞඛ්‍ය යෝජනා කළේ ලංකා සම සමාජ පක්‍ෂයයි. යම් හොඳ දෙයක් මේ රටට ඇවිත් තියෙනවා නම් ඒකේ මුල හිටියේ ලංකා සමසමාජ පක්‍ෂය ඇතුළු වම. සම සමාජ පක්‍ෂයට කොමියුනිස්ට් පක්‍ෂයට අද සෙනඟ අඩුවෙන්න පුළුවන්. නමුත් ඒ ගොල්ලන්ගේ ගුණාත්මක භාවය අඩු කර ගත්තේ නැත්නම් ඒ කට්ටියව මරාදාන්න කාටවත් බැහැ. ඒ නිසා මම කියනවා ඒ ආත්ම ශක්තිය මරා දාන්නට එපා. ඒ ආත්ම ශක්තිය ඉදිරියට තියාගෙන අපි මේ ගමන යමු. මේ ගමන යෑමේදී මොනවද අපිට ලැබෙන්නේ? මොන දුක් පීඩාවන්ද? මොන අලාභද? ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒ ප‍්‍රතිලාභය ජනතාවට වාසි නම් එච්චරයි. එන්.එම්. පෙරේරලා හිරකුටි කඩාගෙන එළියට ආපු අතීතයක් තියෙන්නේ. රොබට් සහෝදරයට එදා නොන්ඩි රොබා කිව්වා. ඒ අල්ලපුවත්තේ කෙහෙල් කැන් හොරකමේ ගිහින් නෙවෙයි. එදා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ අධිරාජ්‍ය විරෝධී අරගලයට සහභාගි වෙලා ඉන්දීය පොලිසියෙන් ගුටි කෑවා. ඉතින් සියලු දුක් විඳගෙන ඔවුන් ඔවුන්ගේ කාලපරිච්ඡේදයේ යුතුකම් ඉටුකළා. නමුත් ඒ අය කරපු දීර්ඝ කාලින කැපවීම සහ ඔවුන් අත්හල සියලු දේවල්, ලෞකික සම්පත් ඒ සියල්ලත් එක්ක තමයි එතුමන්ලාගේ දේශපාලන ජීවය ඉදිරියට ගියේ. 

    අපි රට හදන්න ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියමු. ඒ සඳහා පක්‍ෂවලට විශාල කාර්යභාරයක් තියෙනවා. දැන් න්‍යායික ප‍්‍රශ්න නැහැ. දැන් ස්ටාලින් වාදයක් නැහැ. දැන් මාවෝ වාදයක් ගැන කතා කරන්නෙත් නැහැ. දැන් කතා කරන්නේ යහපාලනය ගැන. ප‍්‍රගතිශිලි ආර්ථිකයක්. මේවාට සටන් වැදීමට ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය මේ එකක්වත් ඕන නැහැ. මෙතනින් පටන් ගත්තේ සම සමාජ පක්‍ෂය. දැන් මේ කිසි ම න්‍යායික ප‍්‍රශ්නයකුත් නැත්නම් ඔක්කොම කට්ටිය එක්වෙලා චීනයට යනවා නම් ඔක්කොම එක්වෙලා අනෙක් සමාජවාදී රටවල සමඟ ජාතික දින සමරනවා නම් වෙනසකුත් නැත්නම් මිනිසුන්ගෙන් අහන්න පුළුවන් ඔබ මේකට එක් නොවන්නේ ඇයි කියලා. ඒ නිසා මම කියන්නේ කීර්තිමත් ලංකා සම සමාජ පක්‍ෂය හදන්න. ඉදිරියේදී එතකොට මේ රටේ දේශපාලනයට ආකර්ෂණයක් ලැබේවි. විශාල නායකත්වයක් මේ රටේ දේශපාලන ගමනට ලැබේවි. ඒක මේ රටේ විශාල පරිවර්තනයක් සිදු කරාවි. ඒ නිසා එම පරිවර්තනය කිරීමට මම ඉල්ලමින්, මේ කීර්තිමත් පක්‍ෂය ලංකාවේ සමසමාජ පක්‍ෂයට, අපේ පැරණිම පක්‍ෂයට තව ඉතා විශාල ගමනකට ආශිර්වාද කරමින් මම සුබ පතනවා" යැයි ද පැවසීය.

     

    මෙම අවස්ථාවට ලංකා සමසමාජ පක්ෂයේ නායක හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහත්වරු ද සහභාගි වූහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya