ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වකුගඩු රෝගයෙන් ආරක්ෂාවීමට පවුල් 250000කට නොමිලේ මැටි භාජන

    සැප්තැම්බර් 05, 2014

    උතුරුමැද පළාත ඇතුළු ව දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ වන විට බහුලව දක්නට ලැබෙන කාලික වකුගඩු අකරණ ‍රෝගය ( Chronic Kidney Disease) මැඬ පැවැත්වීමේ අරමුණින් රජය පවුල් දෙලක්ෂ පනස් දහසකට නොමිලේ මැටි වළං බෙදා දී තිබේ.

     ආහාර පිසීමේ දී බාල වර්ගයේ ඇළුමිනියම් භාජන වෙනුව‍ට ජනතාව මැටි වළං භාවිතයට හුරු කරන මෙම වකුගඩු රෝග නිවාරණ වැඩස‍ටහන 2010 වසරේ සිට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. වකුගඩු රෝගය ඇතිවීමට බාලවර්ගයේ ඇළුමිනියම් භාජන භාවිතයද හේතුවක් බවට සොයා ගැනීම නිසා මෙම වැඩසටහන ආරම්භ කර තිබේ. මීට අමතරව කුඹල් කර්මාන්ත ගම්මානවල කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ.

     

     මැටි වළං නිෂ්පාදනය කිරීම සඳහා කාන්තාවන්ට  අවශ්‍ය නවීන උපකරණ, තාක්ෂණික දැනුම හා උපදෙස් නොමිලේ ලබා දී ඔවුන්ගේ නිෂ්පාදන මිල දී ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ බිඳවැටී තිබූ කුඹල් කර්මාන්තය යළි නඟා සිටුවීම නිසා මේ වනවිට එම ගම්මාන 26ක් යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත. 

     

    ඒ අනුව එම සෞඛ්‍යාරක්ෂිත මැටි වළං එම අමාත්‍යාංශය මගින් ජනතාව දැනුවත් කරමින් නොමිලේ බෙදාදෙනු ලබයි. එලෙස පවුල් 560කට මැටි වළං බෙදාදීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගෙ‍් ප්‍රධානත්වයෙන් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැළඹගස්වැව ප්‍රදේශයේ දී පසුගියදා සිදුකෙරිණි. වකුගඩු රෝගයෙන් ජනතාව බේරා ගැනීමට රජය විශාල මුදලක් වැය කර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිය දී ඒ සම්බන්ධයෙන් විපක්ෂය පදනම් විරහිතව රජයට චෝදනා නැගීම විහිළුවක් බවත් හැළඹගස්වැව පැවති මැටි වළං බෙදාදීමේ උත්සවයේ දී අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය. 

     

    එමෙන්ම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් වකුගඩු රෝගීන් මුලා කර ඔවුන්ගේ කරපිටින් ආණ්ඩු  පිහිටුවන්න උත්සහ කරන බවත්, වකුගඩු රෝගය ආණ්ඩුවේ වරදින් සිදුවූවක් කීමට තරම් එක්සත් ජාතික පක්ෂය අද බොළඳ වී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය. එම අවස්ථාවට උතුරුමැද පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්‍යානි කරල්ලියද්ද, මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.එන්. පීරිස් යන මහත්වරුන් ඇතුළු හැළඹගස්වැව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya