ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ වුණු දේ නැගෙනහිර වෙන්න ඉඩතියන්න එපා

    සැප්තැම්බර් 23, 2014

    මද්රාසා පාසල්වල උගන්වන විදෙස් ගුරුවරුන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය සැලකිලිමත් විය යුතු යැයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.


    විශේෂයෙන්ම මද්රාසා පාසල්වල උගන්වන විදේශීය ගුරුවරුන් සම්බන්ධයෙන්, ඔවුන් උගන්වන දේ ගැන මීට වඩා මුස්ලිම් සමාජය සැලකිලිමත්විය යුතු යැයි අමාත්‍යවරයා  පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
     
    අපි පහුගිය කාලයේ මේ රට තුළ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවායි කියලා හඬ නඟන කොට අපේ රටේ දේශපාලකයන්, විද්වතුන් වගේ ම බොහෝ අය අපට අන්තවාදීන් කිව්වා. මේ වන විට al-Qaeda සංවිධානයත් ISIS ත්‍රස්තවාදී සංවිධානයත් ශ්‍රී ලංකාව තමන්ගේ තිප්පොළක් බවට පත් කරගැනීමේ ඉලක්කයක් තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. අපි කියූ දේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන විසින් මෙසේ තහවුරු කරමින් ඉන්න නිසා අද මේ රටේ මුස්ලිම් සංවිධානවලට ISIS, al-Qaeda ප්‍රකාශ හෙළා දකින තැනට තල්ලුවෙන්න සිද්ධ වෙලා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා කීය.

    මේ පිළිබඳ විශේෂයෙන් ම සහෝදර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. වේලුපිල්ලේ පිරබාහරන් 70 දශකයේ වෙඩි තියන්නට පටන් ගන්න කොට ඇතැම් දෙමළ සාමාජිකයන් කුල්මත් වුණා. තරුණ පරම්පරාව ඒකෙන් ආශ්වාදයක් ලැබුවා. හැමෝම ඒ ව්‍යාපාරය ධෛර්යමත් කළා. අවසාන ප්‍රතිඵලය වුණේ අපේ සමාජයේ ඉහළින් වැජඹුණු දෙමළ සමාජය අඳුරින් අඳුරට ගමන් කිරීමයි. අපේ කුඩා කාලයේ අපේ රටේ ප්‍රමුඛ නීතිඥයෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගණකාධිකාරීවරු මේ හැමෝම වෘත්තීයවේදීන් බිහි වුණේ දෙමළ සමාජයෙන්. මීට අවුරුදු 04කට කලින් නීති විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් සමත් වුණේ සිසුන් හයදෙනයි. ඒ නිසා නීති පරිපාලකයන්ට සිද්ධ වුණා නීති විද්‍යාලයේ දෙමළ මාධ්‍යයට විතරක් ලකුණු ප්‍රමාණය අඩු කරලා අසමත් සිසුන් සමත් කරගන්න. මොකද උතුරු නැගෙනහිර උසාවිවල වැඩකටයුතු කරන්නේ දෙමළ භාෂාවෙන් හින්දා. ඒ වගේ ම අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම හිටියේ දෙමළ අය. මේ සියල්ල පසුගිය අවුරුදු 30 දැවැන්ත පසුබෑමකට ලක් වුණා. දෙමළ සමාජය, දෙමළ ත්‍රස්තවාදය ධෛර්යමත් කිරීමෙන්, එයට සහයෝගය පළ කිරීමෙන්, එයින් ආශ්වාදයක් ලැබීමෙන් දැවැන්ත වන්දියක් ජීවිතවලින් සහ සමාජ සංවර්ධනය පැත්තෙන් ගෙව්වා යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    මුස්ලිම් සමාජයෙන් අපි ඉල්ලා සිටින්නේ එතනට මුස්ලිම් සමාජය තල්ලු වෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ තරුණ පරම්පරාව අද කරන දේ පිළිබඳ ආශ්වාදයෙන් බලනවා වෙනුවට ඔවුන්ට අනතුරු ඇඟවීම් කරන්න. මේ ගැන අපට ජීවමාන අත්දැකීමක් උතුරෙන් ලබාදීලා තිබෙනවා.


    ඒ නිසා උතුරේ වුණු දේ නැගෙනහිර වෙන්න ඉඩතියන්න එපායි කියන එක අපි මුස්ලිම් සමාජයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඇස්පනාපිට දෙමළ සමාජයට වෙච්ච විනාශය පේන්න තියෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya