ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දේශීය බීජ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මිලියන 100ක ප‍්‍රතිපාදන

    නොවැම්බර් 24, 2014

    දේශීය බීජ සුලබ කිරීමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථවත් කරමින් දේශීය බීජ ප‍්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රුපියල් මිලියන 100ක ප‍්‍රතිපාදන වෙන් කර තිබෙන බව ගන්නෝරුව බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුනිල් ගෝවින්න මහතා පැවසීය.


    එම ප‍්‍රතිපාදන යොදවමින් දේශීය බීජ ප‍්‍රවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් අපේ පොළවට අපේ බීජ  නිපදවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක් ව සංවිධානය කළ බීජ ප‍්‍රවර්ධන අලෙවි සතිය පසුගිය 10 සිට 16 දක්වා පැවැත්වූ අතර එම වැඩසටහන පිළිබඳ තවදුරටත් අදහස් අදහස් දක්වමින් ගන්නෝරුව බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා  සඳහන් කළේ බීජ ප‍්‍රවර්ධන අලෙවි සතිය ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වූ බවයි.

    මෙවර බීජ ප‍්‍රවර්ධන  අලෙවි සතිය පවත්වන ලද්දේ දෙවැනි වතාවටයි. පසුගිය වසරේ යල කන්නයේ දී ප‍්‍රථම වරට මෙම වැඩසටහන පැවැත්විණි. මෙහි අරමුණ ගුණත්වයෙන් ඉහළ බීජ හා රෝපණ ද්‍රව්‍ය පහසු මිලට ලබා දීමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව උසස් ප‍්‍රමිතියෙන් යුතු බීජ හා රෝපණ ද්‍රව්‍ය තිබුණත් ගොවීන්ට ඒවා ලබා ගැනීමේ දී විවිධ දුෂ්කරතා මතු වූ බවයි. පේරාදෙණිය අවට ගොවීන්ට කාෂිකර්ම දෙපාර්තමේන්තුවට පැමිණ මේවා මිල දී ගැනීමට හැකි වුවත් වෙනත් ප‍්‍රදේශවල ගොවීන්ට එම අවස්ථාව උදා වූයේ නැත. මෙම දුෂ්කරතා මගහරවාලමින් ගොවීන් සමීපයට ගොස් බීජ හා රෝපණ ද්‍රව්‍ය සහන මිලට ලබා දීමේ කටයුත්ත බීජ ප‍්‍රවර්ධන අලෙවි සතියට සමගාමීව ක‍්‍රියාත්මක විය.

    බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයට නියෝජ්‍ය අධ්‍යක්ෂ කලාප 13ක් අයත් වන අතර ඒවා ආවරණය වන පරිදි ජනතාව වැඩියෙන් රැස්වන ආගමික ස්ථාන, පාසල්, සතිපොළ ආදී ස්ථානවල දී බීජ හා රෝපණ ද්‍රව්‍ය මිල දී ගැනීමේ අවස්ථාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබිණි. ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා ජනතාව දැනුවත් කරමින් මේ සඳහා පුළුල් ප‍්‍රචාරයක් ලබා දුන් අතර මෙම වැඩසටහනට ඉහළ ජනතා ප‍්‍රසාදයක් ද හිමි විය.

    පසුගිය වසරේ පැවති බීජ ප‍්‍රවර්ධන අලෙවි සතියේ ආදායම රුපියල් ලක්ෂ 115ක් පමණ වූ අතර මෙවර එම ආදායම රුපියල් ලක්ෂ 215 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් පැහැදිලි වන්නේ වැඩසටහනේ සාර්ථකත්වයයි. ග‍්‍රෑම් 05ක එළවළු බීජ පැකැට්ටුවේ සිට වී බුසල් මළු දක්වා විවිධ වර්ගයේ බීජ මෙන් ම පැළ වර්ග, පොහොර ආදිය බීජ ප‍්‍රවර්ධන අලෙවි සතිය තුළ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව උදා විය . වගා කිරීමට සුදුසු ම කාලයේ බීජ අලෙවි කිරීම තුළ මෙම වැඩසටහනෙන් උපරිම ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකි විය.

    බීජ ප‍්‍රවර්ධන අලෙවි සතිය තුළ දේශීය බීජ ප‍්‍රවර්ධනය සඳහා ද විශේෂ ඉඩකඩක් වෙන් විය. "සැබෑ ලාංකේය රසය" යන තේමාව යටතේ ආරම්භ කළ දේශීය බීජ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ නියම ලාංකීය රසයෙන් හා ගුණයෙන් යුත් බීජ ප‍්‍රචලිත කිරීමට හැකි විය. වර්තමානයේ දී බොහෝ ගොවීන් දෙමුහුන් බීජවලට නැඹුරු වී ඇති නිසා දේශීය බීජ භාවිතය අවම මට්ටමක පවතී. මේ නිසා දේශීය කරවිල, දේශීය පතෝල, දේශීය පැපොල් රසය අපෙන් ඈත්වෙමින් පවතී . මේ තත්ත්වයට විසඳුමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ පාරම්පරික බීජ ආරක්ෂා කරන අතර ම දේශීය ජාන එක්කර නව දේශීය ප‍්‍රභේද නිෂ්පාදනය කිරීමේ කාර්යයට මුල පුරා සිටී. දේශීය රසයෙන් යුත් ගොරකා, තක්කාලි, පොළොං මෑ වැනි පාරම්පරික ප‍්‍රභේද නැවතත් අපේ ජනතාව අතර ප‍්‍රචලිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව විශේෂ පරිශ‍්‍රමයක් දරනු ඇත.

    විදේශීය පැපොල් අප රට අක‍්‍රමණය කිරීමත් සමඟ නැවුම් දේශීය පැපොල් රසය අපෙන් ගිලිහී ගොස් තිබේ. නැවතත් අපේ පැපොල් රසය විඳගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවට අවස්ථාව ලබා දී ඇත. අලුතින් දේශීය පැපොල් ප‍්‍රභේදයන් නිපදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත් වී ඇති අතර එය නියඟයට ඔරොත්තු දෙන, පළිබෝධ හානියට ඔරොත්තු දෙන ප‍්‍රභේදයකි. නුදුරේදී ම වාණිජ මට්ටමින් වගාව පවත්වාගෙන යාම සඳහා බීජ අවශ්‍යතාව සපුරාලීමට කෘෂිකර්ම දෙපාර්තමේතුව සමත් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya