ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රටේ ඒකීයභාවය නැති කිරීමට සැලසුමක්

    දෙසැම්බර් 05, 2014
    විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද වන විට පාරේ යන අය සමඟත් ගිවිසුම් ගහන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා එක් ව මේ හදන්නේ මූණ ජපන්, කඳ ජර්මන්, කකුල ඉතාලි ව්‍යවස්ථාවක් 
    දින 100ක් තුළ නිර්මාණය කිරීමට බවද ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 890ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ කොළඹ 10, මොහිදින් මස්ජිඩ් නිවාස සංකීර්ණය  හා සංඝරාජ මාවත මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. 
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  අමාත්‍යවරයා “2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වන විට නල දත වගේ හෙළ වෙන අස්ථාවර රටක් අපිට උරුම වී තිබුණා. එදා අවිනිශ්චිතභාවයකට පත් ව තිබූ මේ රට ඉන් මුදාගෙන ජන ජීවිතයට වගේ ම  රටට නිශ්චිතභාවයක් උදා කළේ කවුද? කියන අවබෝධය අපට තිබිය යුතුයි. අනාගතයක් නැති රටකට සුභ අනාගතයක් උදා කළේ  මහින්ද රාජපක්ෂ මැතිතුමා බව පැහැදිලියි. රට ලබන මේ ප්‍රගතිය, ස්ථාවරභාවය දැකලා සතුටුවීමට නොහැකි පිරිසක්, අද මේ රටේ ජනතාව තුළ බොරුව වපුරලා, නැවත වරක් අස්ථාවර රටක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා. 2010 ජනාධිපතිවරණයේ දී ආපු නැති අලියා 2015 දී  හරි පැමිණෙයි කියන විශ්වාසය මේ රටේ ජනතාව තුළ තිබුණා. නමුත් ගිය පාර වගේම මෙවරත් අලියෙක් වෙනුවට කරලියට ආවේ බලියක්.  
     
    මෛත්‍රී සහ රනිල් සිටින වේදිකාවේ සිට චන්ද්‍රිකා නෝනා කියන්නේ එක්සත් රටක් ගොඩනැගිය  යුතුයි කියලා.  නමුත් ජනාධිපතිතුමා ගොඩනැගුවේ ඒකීය රටක්. එක් ධජයක් යටතේ සියලු දෙනා එකට  එක් ව සිටින  ඒකීය රටක් තමයි ජනාධිපතිතුමන් අපට උරුම කරදුන්නේ. චන්ද්‍රිකා නෝනගේ මේ එක්සත් රට තුළ ෆෙඩරල් ක්‍රමවේදය අඩංගුව පවතිනවා. එතුමියට අවශ්‍ය විවිධ කණ්ඩායම්, කල්ලිවල  මනදොළ සපුරන රටක් නිර්මාණය කිරීමයි. මෙවැනි තත්ත්වයක් මත ජාතික හෙළ 
    උරුමය  පවසන්නේ  දින 100ක ගිවිසුමකට  තමන් එළඹ ඇති බවයි. මේ පිරිස පවසන දින 100  ගෙවුණාට පසු රටේ ඉදිරි ගමන  කුමන තත්ත්වයකට  යොමු වෙයිද? කියන ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්නේ කවුද?  විපක්ෂ නායකතුමා තමන්ගේ පක්ෂයේ කෙනෙකුට  ජනාධිපතිධූර අපේක්ෂකත්වය  ලබාදෙන්නේ නැහැ. ඒ වෙනුවට පක්ෂයට අයත් නොවන  පිට කෙනෙකුට අපේක්ෂකත්වය ලබාදෙන්න එතුමා කැමතියි.  එතුමා  මෙවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නේ විපක්ෂ නායකකමයි, පක්ෂ නායකකමයි දෙකම ආරක්ෂා කරගැනීමට  අවශ්‍ය නිසා.  එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ට  මේ අපේක්ෂකත්වය ලබාදුන්නොත් විපක්ෂ නායකකමයි, පක්ෂ නායකමයි දෙකම තමන්ට අහිමි වන බව වික්‍රමසිංහ මහත්තයා දන්නවා. 
     
    මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණය කළත් විධායක ජනාධිපතිධූරය  අහෝසි කරන්නේ නැහැ. චන්ද්‍රිකා නෝනා එහෙම කරන්න  ඉඩ දෙන්නෙත් නැහැ කියලා වික්‍රමසිංහ මහත්තයට දැන් අවබෝධ වෙලා තියෙනවා.  මේ නිසා චන්ද්‍රිකා නෝනගේ  බලි දිනවන්න වික්‍රමසිංහ මහත්තයට  අවශ්‍යවෙලා නැහැ. චන්ද්‍රිකා නෝනා කියනවා, යුද්ධය 75%ක් ම අවසන් කිරීමට පුළුවන් වුණා කියලා. එතකොට ජනාධිපතිතුමන්ට 25%යි යුද්ධය ඉවර කරන්න සිදුවෙලා තිබුණේ. මෙමඟින් පැහැදිලි වෙන්නේ මේ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක අවුල් හවුල කියන බොරු කන්දරාවේ තරමයි.  
     
    විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාව රටේ බහුතර ජනතාව දන්නේ නැහැ. “ මම ගම් පළාතක පැවති උත්සවයක දී මෛත්‍රීපාල සිරිසේන මහතත්යව දන්නවද? කියලා ඒ ජනතාවගෙන් ඇහුවා. නමුත් ඒ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහත්තයව නොදන්නා බව පැවසුවා.  මෙවැනි තත්ත්වයකට  විරුද්ධ පක්ෂයේ  පොදු අපේක්ෂකයාට  මුහුණදීමට සිදුව තිබෙනවා ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය. 
     
    "මහින්ද චින්තන ඉදිරි දැක්ම" අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන  "ජනසෙවණ  - නගමු පුරවර" ජාතික වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මඟපෙන්වීම හා මෙහෙයවීම මත මෙම මහල් නිවාස  
    සංකීර්ණයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. 
     
    සංඝරාජ මාවත මහල් නිවාස සංකීර්ණය  නිවාස 225කින් සහ  කඩ කාමර  30කින්  සමන්විත නිවාස ව්‍යාපෘතියකි.  මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා  රුපියල් ලක්ෂ  855ක මුදලක් වැය වී ඇත.  "ජනසෙවණ  - නගමු පුරවර" වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ 35 වන ව්‍යාපෘතිය වන්නේ මෙම මහල් 
    නිවාස සංකීර්ණයයි.
     
    රුපියල් ලක්ෂ 35ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කළ මොහිදින් මස්ජිඩ් මහල් නිවාස සංකීර්ණය  ගොඩනැගිලි 2 කින් සහ  නිවාස ඒකක 16 කින් සමන්විත නිවාස ව්‍යාපෘතියකි. මෙම මහල් නිවාස සංකීර්ණය "නගමු පුරවර" වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ 34 වන ව්‍යාපෘතියයි.
     
    මෙම අවස්ථාවට නාගරික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු  පහසුකම්  අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් (නිවාස) කේ.ඒ. තිලකරත්න, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන  මොහොමඩ් මුසම්මිල්,  රම්සි ටෝනි, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ජාතික  නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති ඒ.ඩබ්. දයානන්ද, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී  උපාලි උපවංශ මහත්වරු, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya