ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2020 වන විට ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් 80% කට පිරිසිදු පානීය ජලය ලබාදෙනවා - නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද

    පෙබරවාරි 27, 2015

    වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 44කට පමණක් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පිරිසිදු පානීය ජල සම්බන්ධතා ලබාදීමට කටයුතු කර තිබෙන අතර නව රජයේ ඉදිරි වැඩපිළිවෙළට අනුව එය 2020 වන විට සියයට 80 දක්වා වර්ධනය කරන බව නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජාලපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් දිවයින පුරා ක‍්‍රියාත්මක පානීය ජල ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

     

    ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් මහතා, සාමාන්‍යාධිකාරී ඇතුළු ජාතික ජලසම්පාදන මණ්ඩලයේ පළාත් භාර ප‍්‍රධාන නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපායේ නාගරික සංවර්ධන අධිකාරියේදී ඊයේ (26) මෙම සාකච්ඡාව පැවැත්විණි.

     

    මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,

     

    “ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කොළඹ දිස්ත‍්‍රික්කයේ සියයට 80කට පමණ ජලසම්බන්ධතා ලබාදී තිබුණත් සමස්ත දිවයිනේ ම ජලසම්බන්ධතා ලබාදීම සියයට 44ක් වන බවයි. මෙය සමස්තයක් වශයෙන් ගත් කළ ඉතාම දුර්වල මට්ටමක් වෙනවා. මන්ද දිනෙන් දින වැඩිවන ජනගහණය හා කාර්මීකරණය හේතුවෙන් භූගත පානීය ජලය අභියෝගයකට ලක් වෙමින් තිබෙන කාලපරිච්ඡේදයක්.

     

    ඒ වගේම අප සිටිනුයේ පරිසරය රැක ගන්නට සෑහෙන්න වෙහෙස මහන්සියක් දැරිය යුතු අවස්ථාවකයි. ඒ වගේම මුළු රටටම පානීය ජලය ලබාදීමට අවැසි භූගත ජල ප‍්‍රමාණයක් අප හට සතු වුවත් එය නිසි කළමනාකරණයකින් තොරවීම නිසා එයත් විනාශ මුඛයට ඇදෙමින් පවතිනවා. අපි මෙය නවතාලිය යුතුයි. 2020 ඉලක්ක කරමින් පානීය ජල සම්බන්ධතා දිවයිනේ සෑම නිවසකටම ලබාදීම වත්මන් රජයේ ප‍්‍රමුඛතම අරමුණකි.

     

    තවද වියළි කලාපය ඇතුළු දිස්ති‍්‍රක්ක ගණනාවකම පවතින වකුගඩු රෝගී තත්ත්වය ඉතාම දරුණු අන්දමින් අපේ රටේ ජනතාවට පීඩා කරමින් තිබෙනවා. අපේ රටේ ගොවි ජනතාව මේ හේතුව නිසා අසරණව සිටිනවා. එම නිසා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අපිට උපදෙස් ලබාදීලා තිබෙනවා.“ යැයි පවසා සිටි අතර ඒ අනුව විශේෂයෙන්ම එම කලාපවල දැනට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති හා ආරම්භ කිරීමට යෝජිත ජල ව්‍යාපෘති කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


    තවද කඩිනමින් ඉදිකර ගත හැකි නල ළිං මගින් ජනතාවට පානීය ජලය ලබාදීම පිළිබඳව නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කළ අතර මෙම ව්‍යාපෘති සඳහා ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව, බෙල්ජියම් රජය, ස්පාඤ්ඤ හා හංගේරියානු රාජ්‍ය මගින් මූල්‍ය ණය පහසුකම් සපයනු ලබයි. තවද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සඳහා ශ‍්‍රී ලංකා රජයේ අනුග‍්‍රහය යටතේ දේශීය බැංකු මගින් මූල්‍ය සම්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

     

    මෙහිදී රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. එහිදී රත්නපුර දිස්ත‍්‍රික්කයේ සමස්ත ජනගහණයෙන් 12.6% කට පමණක් මේ වන විට පිරිසිදු පානීය ජලය ලබාදී ඇති බව හෙළි විය. එය ඉතා අවම මට්ටමක් වන අතර දැනට එම තත්ත්වය වර්ධනය කිරීමට සඳහා 2012 දී විසල් රත්නුපර ජල ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

     

    අදියර 02 ක් යටතේ ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය ස්පාඤ්ඤ රජයේ මූල්‍ය අනුග‍්‍රහය යටතේ ආරම්භ කර  ඇත. ශ‍්‍රී ලංකා රජය ද 15% ක ප‍්‍රමාණයක් සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය 2016 දී වැඩ අවසන් කිරීමට නියමිත අතර මුල් අදියර යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ 80,000 ක් ජනතාව සඳහා ප‍්‍රතිලාභ සැලසේ. දෙවන අදියර මගින් නිමා වූ පසු 60,000ක පමණ ජනතාවට ප‍්‍රතිලාභ සැලසේ. ඒ අනුව සමස්ත ප‍්‍රතිලාභීන් සංඛ්‍යාව 140,000 කි.

     

    තවද දිවයින පුරා වැඩ ආරම්භ කර ඇති සියලුම ජල ව්‍යාපෘති හා මූල්‍ය අපහසුතා හේතුවෙන් වැඩ නිම කිරීමට හැකියාව නොලැබී ඇති ව්‍යාපෘති පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කර තමා දැනුවත් කරන ලෙස ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ප‍්‍රධානීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

     

    SDF

    dunesh1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya