බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවැති සාකච්ඡාවේදීය.
වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත් ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයින් හමුවේ ප්‍රකාශ කළේය.
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බවද කියා සිටියේය.
අතර මැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතා මඟහැර ගැනීම සඳහා යෙදවුම් මිල අඩුකිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුනතිලක, මේනක ගම්ලත් යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරිකයින් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය.
පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය විසඳුම් ලබා දීමටද මෙහිදී තීරණය විය.
පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදු කළ හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවේදීය.
ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන්නේය.
නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පලුදු නොවන ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කළේය.
රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන ලෙසත් ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය.
උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
කන්තලේ ගොවි ජනතාවට ලබා දුන් ඉඩම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු විය.
උතුර පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
විදේශ ගමන් බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් ඇති නොවන බවත්, මේ සතිය අවසන් වනවිට ගමන්බලපත්‍ර පෝලිම් අවසන් කරන බවත්, අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.